රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාල

සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඓතිහාසික හා දේශපාලනික වැදගත්කමක් ඇති රුවන්වැල්ල නගරය නිට්ටඹුව මාර්ගය ඔස්සේ ගම්පහ දිස්ත්‍රික්කය ද කෑගල්ල මාර්ගය ඔස්සේ මහනුවර දිස්ත්‍රික්කය ද කරවනැල්ල - යටියන්තොට හරහා නුවරඑළිය දිස්ත්‍රික්කය ද එකිනෙක යා කරන වැදගත් සංධිස්ථානයකි. 
අප ප්‍රාදේශීය සභා මුළු බල ප්‍රදේශය වර්ග කිලෝමීටර 147ක අති විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර, එය වසම් 38කින් යුක්තය. රුවන්වැල්ල ප්‍රධාන නගරය කරගනිමින් කරවනැල්ල, අඟුරුවැල්ල, කන්නත්තොට, අමිතිරිගල, ගලපිටමඩ, ගෝනගල්දෙණිය යන උපනගරවලින් රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සමන්විත වේ.
මෙකී බල ප්‍රදේශයේ අපේ ප්‍රාදේශීය සභාවට අයත් පුස්තකාල 5කි. මෙම පුස්තකාල බල ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපනික, ආර්ථික, සමාජීය, සංස්කෘතික සංවර්ධනයට අදාල දැනුම අවශ්‍යතා සපුරාලමින් පුද්ගල පෞරුෂ සංවර්ධනය, සමාජශීලිත්වය, සෞන්දර්යාත්මක කුසලතා සාක්ෂාත් කරමින් සියලු ජන කණ්ඩායම්වලට සේවා සපයනු ලබයි.
ඒ අනුව අපගේ පුස්තකාල සේවාවන් අතර පොත් බැහැර දීම, විමර්ශන සේවය, පුවත්පත් ලිපි කැපුම් සේවාව, කියවීම් ශාලා පහසුකම්, ජායා පිටපත් සේවාව, මුද්‍රිත පිටපත් සේවාව, අ.පො.ස.සා.පෙ., උ.පෙ. පසුගිය ප්‍රශ්නෝත්තර එකතුව, අන්තර් පුස්තකාල පිරුළු සේවාව, ජංගම පොත් සේවාව, කේතකරණ සේවාව, පොත් බැදුම්කරණය, විස්තෘත සේවා, දෘෂ්‍යාබාධිත පාඨක සේවා, ඉලෙක්ට්‍රොනික ඉගැන්වීම් සේවා යනාදිය වේ.
2021 වර්ෂයේ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සමග එක්ව ඩිජිටල් සහ ස්වයංක්‍රීය මහජන පුස්තකාල ව්‍යාපෘතිය හරහා නව මුහුණුවරකින් යුක්තව පූර්ණ පුස්තකාල ස්වයංක්‍රීය පද්ධතියක් ද නවීන අංගෝපාංග සහ සේවාවන් ද නවීන ගොඩනැගිලි පහසුකම්වලින් ද සපිරි නව තාක්ෂණික අත්දැකීම් සඳහා දොරටු විවරකර ඇත.
 

රුවන්වැල්ල මහජන පුස්තකාලය

RunLibPhoto
ඉංග්‍රීසි පාලන සමයේ දෙහිගම්පල කෝරලය, අටුලුගම් කෝරලය, හා පනාවල කෝරලය යන තුන් කෝරලය භාරව ක්‍රියාකළේ ඩේවිඩ්ෂන් නමැති ඉංග්‍රීසි ජාතික දිසාපති තැන විසිනි. රුවන්වැල්ල අයත් වූයේ දෙහිගම්පල කෝරලයට වන අතර මෙම ප්‍රදේශ පාලනය භාරව ක්‍රියාකළේ සිංහල කෝරාලවරුන් ය. තුන් කෝරලය භාර දිසාපති තැනගේ බිරිඳ අනුස්මරණය කිරීම සඳහා ස්මාරක ශාලාවක් ගොඩනැංවීමට ඩේවිඩ්ෂන් දිසාපති තැන කටයුතු කළේය. ඒ අනුව සෑම කෝරාලවරයෙකුම ඒ සඳහා කොස් ගස බැගින් සැපයිය යුතු විය. ගඩලාදෙනිය කැටයම්කරුවන් ගෙන්වා ඉතාමත් රමණීය අන්දමින් මෙම ස්මාරකය ගොඩනැංවීය. පසුව “ඩේවිඩ්ෂන් ස්මාරක ශාලාව” යන නමින් ද “ජුබිලි අම්බලම” යන නමින් ද පරසිදු විය.
මෙම ගොඩනැගිල්ල පසුව පී.සී. ඉඹුලානයන්ගේ ප්‍රථම ගම්සභා කාර්යාලය බවට පත්විය. ගම්සභා පාලන සමයේ බිහි වූ සුළු නගර සභා පාලනයේ සභාපතිත්වය ඉසිලූ හේමපාල දසනායකයන්ගේ සංකල්පයක් අනුව නගර සභා නියෝජිතවරුන් සහ පලාත් පාලන ආයතන සමග සාකච්ජා කොට ජුබිලි අම්බලම ගොඩනැගිල්ල තුළ පුස්තකාලයක් ආරම්භ කිරීමට කටයුතු කෙරිණි.
ප්‍රදේශයේ ජනතාවගේ අනුග්‍රහයෙන් ක්‍රම ක්‍රමයෙන් දියුණුව කරා ගමන් කරන පුස්තකාලයේ පොත් එකතුවේ පැහැදිලි වෙනසක් ඇතිවීම නිසා පුස්තකාල ගොඩනැගිල්ල පුළුල් කළ යුතු විය. ඒ අනුව 1967 සැප්තැම්බර් මස 11 වන දින ප.ව. 2.30 ට යෙදුනු සුබ මොහොතින් පලාත් පාලන අමාත්‍ය නීතිඥ වෙල්ලම් මහතාණන් විසින් මුල්ගල තබන ලදී.
රුවන්වැල්ල නගර මධ්‍යයේ පැවති පුස්තකාල ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා 1980 සැප්තැම්බර් මස 06 වන දින පලාත් පාලන අමාත්‍ය පී.සී. ඉඹුලාන මහතා විසින් රුවන්වැල්ල මධ්‍ය විද්‍යාලයට අයත් භූමි භාගයක මුල්ගල තබන ලදී. මොඩියුල ආකාරයෙන් කරවා ඇති මෙහි දිග ප්‍රමාණය අඩි 52 ක් වන අතර පළල අඩි 35 කි. මේ අනුව රුවන්වැල්ල මධ්‍යම පුස්තකාලය වර්ග අඩි 1820ක පුළුල් පරාසයක් ගෙන ඇත. මෙය 1988 ඔක්තෝබර් 05 වන දින මහජනයා සඳහා විවෘත විය.
අට දහසකටත් අධික පාඨක සමූහයකට දැනුම සපයන දෙවන ශ්‍රේණියේ පුස්තකාලයක් වන මෙම පුස්තකාලය සතු දැනුම් සම්භාරයේ විශාලත්වය විවිධ අංශයන් යටතේ පැතිර පවතී. ත්‍රෛභාෂාවම නියෝජනය වන පරිදි පොත් 25000කට වැඩි ප්‍රමාණයක් ඇති අතර මෙම ග්‍රන්ථ එකතුව විශේෂ කර්තෘ එකතුව, ප්‍රාදේශීය කෘති එකතුව, විවිධ සම්මානයන්ගෙන් පිදුම් ලද ග්‍රන්ථ එකතුව, රාජ්‍ය සම්මානලාභී ග්‍රන්ථ එකතුව ලෙස සුවිශේෂී එකතූන්ගෙන් පූර්ණ වී ඇත. මීට අමතරව සඟරා සහ ත්‍රෛභාෂාවෙන් ප්‍රකාශිත පුවත්පත් එකතුවක් ද, ළමා පොත් එකතුවක් ද ඇත. තව ද මෙම ග්‍රන්ථ එකතුව පාඨකයාගේ මෙන්ම අප කාර්යය මණ්ඩලයේ පහසුව උදෙසා ඩිවි දශම වර්ගීකරණය අනුව පොත් වර්ගකර වර්ණ වර්ගීකරණය සිදුකර ඇත.
අපගේ සේවාවන් වන පොත් බැහැරදීම, විමර්ශන සේවය, පුවත්පත් ලිපි කැපුම් සේවාව, කියවීම් ශාලා පහසුකම්, පුවත් පත් සේවාව, ඡායා පිටපත් සේවාව, අ.පො.ස. සා.පෙ., උ.පෙ. පසුගිය විභාග ප්‍රශ්නෝත්තර එකතුව දැක්විය හැකි අතර පුස්තකාලයේ නව පිබිදීම ලෙස 2018 වර්ෂයේ ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සිදුකළ වැඩසටහන් ඇගයීමේදී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ලබාදුන් කුසලානය හිමිකර ගැනීම,2018 වර්ෂයේ සබරගමුව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් පවත්වනු ලැබූ සබරගමුව පළාත් අන්තර් පුස්තකාල විවාද තරඟයෙන් අනුශූරතාව ලබාගැනීම,2019 වර්ෂයේ ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සිදුකළ වැඩසටහන් ඇගයීමේදී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ලබාදුන් කුසලානය හිමිකර ගැනීම ආදිය පෙන්විය හැක.
2021 වර්ෂයේ, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හා එක්ව “ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය” හරහා යාවත්කාලීන සංස්කරණ මුහුණුවරකින් යුත් පූර්ණ පුස්තකාල ස්වයංක්‍රීය පද්ධතියක් ද නවීන අංගෝපාංගයන් හා සේවාවන්ගෙන් ද සපිරි නව තාක්ෂණික අත්දැකිමක් සඳහා දොරටු විවර කර ඇත.

අප පුස්තකාලයෙන් සැපයෙන සේවාවන්
01.පොත් බැහැරදෙන සේවය
02.ජංගම පුස්තකාල සේවය
03.පුවත්පත් සේවය
04.පොත් බැඳුම්කරන සේවය
05.ළමා පාඨක සේවා
06.සඟරා පහසුකම් සේවය
07.ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා
08.විමර්ශන සේවා
09.අන්තර්ජාල පහසුකම්
10.පරිගණක පහසුකම්
11.මුද්‍රිත පිටපත් සහ ඡායාපිටපත් සේවය
12.සමාජ මාධ්‍ය ජාලා හරහා සපයනු ලබන සේවාවන්
13.ලිපි කැපුම් සේවා
14.අන්තර් පුස්තකාල පිරුළු සේවා
15.ප්‍රජා තොරතුරු සේවා

පුස්තකාල පහත සඳහන් අංශ වලින් සමන්විතවේ.
1) කියවීම් අංශය
2) ළමා අංශය
3) විමර්ශන අංශය
4) බැහැර දෙන අංශය
5) සඟරා අංශය
6) පුවත්පත් අංශය
7) විද්‍යුත්, අන්තර්ජාල සේවා හා පරිගණක අංශය
8) ග්‍රන්ථ සංසරණ අංශය
9) ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශය (බ්‍රේල් )
10) ප්‍රජා තොරතුරු ඒකකය
11) පොත් බැඳුම්

බැහැර දෙන අංශය
1) යම් තැනැත්තෙක් වයස අවුරුදු 12 ට අඩු පුස්තකාල සාමාජිකයෙකු වේ නම් ළමා පාඨකයෙක් වශයෙන් ද, අවුරුදු 12 ට වැඩි පුස්තකාල සාමාජිකයෙකු වේ නම් වැඩිහිටි පාඨකයෙක්
වශයෙන් ද සලකනු ලබයි.
2) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචි වී සිටී නම් හෝ බල ප්‍රදේශය තුළ ආයතනයක, කාර්යාලයක, පාසලක, ව්‍යාපාරයක හෝ මහජන සංවිධානයක සාමාජිකත්වය ඇතිව සිටීම.
3) පුස්තකාලයක සාමාජිකයෙකු ලෙස ඇතුලත් කර ගන්නා සෑම තැනැත්තෙකුටම පුස්තකාලයාධිපති විසින් අනන්‍යතාවය සහිත කාඩ්පතක් නිකුත් කරන අතර, එම කාඩ්පත යටතේ නිශ්චිතව සඳහන් ප්‍රමාණයන්ගෙන් බැහැරදෙන අංශයෙන් පොත් ලබාගැනීමට ඔහුට / ඇයට හැකියාව ඇත්තේය..

විමර්ශන අංශය
විමර්ශන අංශය සඳහා පහත සඳහන් ගණයන්ට අයත් පොත් ඇතුලත්ය.(විමර්ශන අංශය සඳහා සුදුසු යැයි දැනටමත් පුස්තකාල සේවා මණ්ඩල විසින් නිර්දේශිත පොත්.)
1) වැඩි වටිනාකමක් ඇති දුර්ලභ පොත්
2) වෘත්තීය හා උසස් අධ්‍යාපන විෂයන්ට හා විශේෂිත විෂයන්ට අයත් පොත්

කියවීම් අංශය හා ශ්‍රවණාගාරය.
1) වයස අවුරුදු අටට නොඅඩු ඕනෑම කෙනෙකුට කියවීම් ශාලාව භාවිතා කිරීම සඳහා අවසර ලබා දී ඇත.
2) ශ්‍රවණාගාරය පෙ.ව.8.30 සිට ප.ව.4.30 දක්වා කාලය තුලදී පමණක් විවෘතව තැබේ.
3)දේශන ශාලාවක් වශයෙන් ශ්‍රවණාගාරය භාවිතා කළ හැකි අතර ඊට අදාළ අයදුම්පත්‍රයේ දැක්වෙන කොන්දේසිවලට යටත්ව කටයුතු කළ යුතුය.

ළමා අංශය
1) වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා කියවීමට ළමා අංශයක් වෙනම පවත්වාගෙන යනුලබයි.
2) ළමුන්ගේ කියවීමේ රුචිය ඇතිවන පරිදි ළමා පොත පත මෙම අංශය තුල සපයා තිබේ.
3) ළමුන්ගේ පරිහරණය සඳහා ටැබ් යන්ත්‍ර මෙම අංශය තුල තබා ඇත.
4) ළමා මනස වර්ධනයට අදාළ සෙල්ලම් උපකරණ කට්ටල ද ළමා අංශය තුල පවතී.

විද්‍යුත්, අන්තර්ජාල සේවා සහ පරිගණක අංශය
තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් අන්තර්ජාල පහසුකම් සලසා ගැනීම, තොරතුරු සපයා ගැනීම ඡායා පිටපත්, මුද්‍රිත පිටපත් ලබා ගැනීම හා වෙනත් පහසුකම් ලබා ගැනීමේ හැකියාවඇත.

ජංගම පුස්තකාලය
ප්‍රාදේශීය සභාව විසින් පොත්වල ආරක්ෂාව හා වගකීම දැරිය හැකි පාර්ශව අරමුණුකර ගනිමින් ජංගම පුස්තකාල සේවාවක් පවත්වාගෙන යාම.

පුවත්පත් අංශය
ඕනෑම අයෙක්ට නිදහසේ පුවත්පත් හා සඟරා කියවීමේ හැකියාව ලබා දී තිබීම.

පුස්තකාල සාමාජිකත්වය ලබා දීම
1) ප්‍රාදේශීය සභා ප්‍රදේශය තුල තුළ ස්ථීර පදිංචිය
2) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පාසලක ඉගෙනුම ලබන සිසු සිසුවියන්
3) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ රජයේ ස්ථීර සේවයේ නියුතු අයදුම්කරුවන්
4) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ස්ථීර පදිංචි වරිපනම් බදු ගෙවන අයෙකු ඇපකරුවෙකු ලෙස අත්සන් කිරීමෙන් ද සාමාජිකත්වය ලබා ගත හැක.

පුස්තකාල සාමාජිකත්වය
■ රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ස්ථීර පදිංචිකරුවකු විය යුතුයි.
■ වසර 2කට වරක් අලුත්කිරීම කළ යුතුයි.
■ වැඩිහිටි සාමාජික අයදුම්පත් ගාස්තු රුපියල් 25.00 ක් වන අතර ළමා සාමාජික අයදුම්පත් ගාස්තු
■ රුපියල් 10.00 ක් වේ. වැඩිහිටි සාමාජිකත්වය සඳහා රුපියල් 100.00 ක මුදලක් ද
■ ළමා සාමාජිකත්වය සඳහා රුපියල් 10.00 ක මුදලක් ද සාමාජික ගාස්තු වශයෙන් අය කෙරේ.

පුස්තකාලය විවෘතකර තැබීම
ඉරිදා දින, රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින හැර සතියේ සෑම දිනකම පෙ.ව. 8.00 - 5.00 දක්වා විවෘත වේ. පුවත්පත් අංශය පමණක් රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින හැර සතියේ සෑම දිනකම විවෘත වේ.

අපව අමතන්න: 036-2267379
පුස්තකාලයාධිපති: එච්.එස්. විජේතුංග මිය
තැපැල් ලිපිනය : මධ්‍යම පුස්තකාලය, රුවන්වැල්ල.
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
පුස්තකාල සුචිය වෙත පිවිසෙන්න : https://ruwanwella.dlp.gov.lk/
යූ ටියුබ් නාළිකාවට පිවිසෙන්න : https://www.youtube.com/@Ruwanwellalibrary
ෆේස්බුක් පිටුවට පිවිසෙන්න : https://facebook.com/centrallibrary.ruwanwella
වටිස්ඇප් හරහා සම්බන්ධ වන්න :+94 71 878 0703

ගලපිටමඩ මහජන පුස්තකාලය

Galapitamada Laibary
1995 වසරේ දී කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිල්ලක ආරම්භ කරන ලද ගලපිටමඩ මහජන පුස්තකාලය මුල් කාලීනව කුඩා සාමාජික සංඛ්‍යාවක් හා කුඩා පොත් සංඛ්‍යාවක් සමඟ පවත්වාගෙන යන ලදි. ඉන් පසු රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු මන්ත්‍රී චන්ද්‍රපාල කුලනායක මැතිතුමාගේ යෝජනාවක් අනුව ප්‍රාදේශීය සභා අරමුදලින් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව සතුව පැවති ඉඩමක ස්ථිර ගොඩනැගිල්ලක ඉදිකල ගලපිටමඩ මහජන පුස්තකාලය 2005 අගෝස්තු මස 10 වන දින එවකට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති පී.ඒ. නිමල් රත්නසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. වත්මන් පුස්තකාලය 8000කට ආසන්න පොත් සංඛ්‍යාවකින් ද, වැඩිහිටි සාමාජිකයන් 1500කින් පමණද, ළමා සාමාජිකයන් 150කින් පමණ ද සමන්විත වේ.

පුස්තකාලය විවෘතකර තැබීම
රජයේ නිවාඩු දින හැර අනෙකුත් සියලුම දිනයන් හි පුස්තකාලය විවෘතව පවතී.

අපව අමතන්න : 074 1332238
පුස්තකාලයාධිපති : කේ.එම්. කුමුදුනී නයෝමි ගුණරත්න මිය. (පුස්තකාල සහායිකා)
තැපැල් ලිපිනය : මහජන පුස්තකාලය, ගලපිටමඩ.
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆේස්බුක් පිටුවට පිවිසෙන්න : https://www.facebook.com/share/17oGp7K7yc/

ඉඹුලාන මහජන පුස්තකාලය

1969-12-02 දින ගරු ආහාර හා කෘෂිකර්ම උප ඇමති පී.සී. ඉඹුලාන මැතිතුමා විසින් දෙහිගම්පල් කෝරළේ එගොඩපත්තු ගම් සභාව වන වත්මන් පුස්තකාල ගොඩනැගිල්ලට මුල්ගල් තබා ඇත. එවකට රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය හොබවා ඇති ඩී.ඕ.වී. විජේමාන්න මැතිතුමාගේ ධූර කාලය තුල 1971-06-20 දින මෙම ගොඩනැගිල්ලේ කොටසක ඉඹුලාන මහජන පුස්තකාලය ආරම්භ කර ඇත.
වර්තමානයේ දී පුස්තකාලයාධිපති වශයෙන් කේ.එම්.ඩී.ඩී. කුමාරසිංහ මිය සේවය කරන අතර පුස්තකාල සහායක නිලධාරිනියන් දෙදෙනෙකු සේවය කරයි. පුස්තකාලයේ පොත් 11044ක් පමණ මේ වන විට පවතින අතර වැඩිහිටි සාමාජිකයන් 1464ක් ද, ළමා සාමාජිකයන් 263ක් ද මේ වන විට සාමාජිකත්වය ලබා ගෙන ඇත.

පුස්තකාලය විවෘතකර තැබීම
ඉරිදා සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් හිදී හැර අනෙකුත් දින වල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා පුස්තකාලය විවෘතව පවතී.

අපව අමතන්න : 071 9884790
පුස්තකාලයාධිපති : ඩබ්.ඩබ්.ඩබ්. ලක්ෂ්මි විජේකුමාරි මිය (පුස්තකාල සහායිකා).
තැපැල් ලිපිනය : මහජන පුස්තකාලය, ඉඹුලාන.
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆේස්බුක් පිටුවට පිවිසෙන්න : https://www.facebook.com/share/17w8AQdB33/

අමිතිරිගල මහජන පුස්තකාලය

පුස්තකාලය විවෘතකර තැබීම
සෙනසුරාදා සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් හිදී හැර අනෙකුත් දින වල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා පුස්තකාලය විවෘතව පවතී.

අපව අමතන්න : 036 2231086
පුස්තකාලයාධිපති : ඊ.එම්.එස්.කේ. චන්ද්‍රදාස මිය (පුස්තකාලයාධිපති)
තැපැල් ලිපිනය : මහජන පුස්තකාලය, අමිතිරිගල
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆේස්බුක් පිටුවට පිවිසෙන්න : https://www.facebook.com/share/1BpxQXry9h/

ගෝණගල්දෙණිය මහජන පුස්තකාලය

පුස්තකාලය විවෘතකර තැබීම.
සෙනසුරාදා සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් හිදී හැර අනෙකුත් දින වල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා පුස්තකාලය විවෘතව පවතී.

අපව අමතන්න : 077 0809991
පුස්තකාලයාධිපති : පී.ඒ. දිලානි දීපිකා මිය (පුස්තකාල සහායිකා)
තැපැල් ලිපිනය : මහජන පුස්තකාලය, ගෝණගල්දෙණිය
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆේස්බුක් පිටුවට පිවිසෙන්න : https://www.facebook.com/share/1C32QiewBc/