පළාත් පාලන සතිය - 2025
2025-09-15 - සමාරම්භය හා ජංගම සේවා දිනය
පළාත් පාලන සතිය - 2025 වෙනුවෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද පළාත් පාලන සතියේ වැඩසටහන් 2025.09.15 දින පෙ.ව. 9.00ට රුවන්වැල්ල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී ආරම්භ විය. රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මැතිතුමාගේ මඟපෙන්වීම පරිදි මෙම වැඩසටහන් මාලාව සංවිධාන කෙරුණු අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි නිසා ගරු සභාපතිතුමා මෙම අවස්ථාවට සහභාගී නොවීය. රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ගරු උපසභාපති හේම ජයන්ත ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. රුවන්වැල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා, පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගි විය. රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමන්ලා/තුමියන්ලා රැසක් ද ලේකම්තුමා ඇතුළු ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයද මේ අවස්ථාවට සහභාගි වූහ.
පළාත් පාලන සතියේ සමාරම්භය සනිටුහන් කරමින් රුවන්වැල්ල නගරයේ ඔරලෝසු කණුව පිළිසකර කිරීමේ කටයුතු ද එදින ආරම්භ කෙරිණ. ජංගම සේවා දිනය හේතුවෙන් අමිතිරිගල සහ ගෝනගල්දෙනිය උප නගර කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ජංගම සේවා වැඩසටහන්ද සංවිධාන කර පවත්වන ලදී. එම ප්‍රදේශවල වීථි පහන් නඩත්තු කටයුතුද, ජංගම සේවා වැඩසටහනට සමගාමීව සිදු කෙරුණි.
රුවන්වැල්ල මධ්‍යම පුස්තකාලය කේන්ද්‍ර කර ගනිමින් පුස්තකාල සේවාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාසල් දරුවන් සඳහා විශේෂ වැඩසටහනක් ද එදින සංවිධානය කර තිබුණි.
එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සංවිධාන කරන ලද සුනඛයන් සඳහා ජල භීතිකා එන්නත්කරන වැඩසටහනක්ද 2025.09.15 දින ගෝනගල්දෙනිය ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. කජුවෙලතැන්න, ලෙනගල, වල්ගම්පත, කම්මල්හේන, ගොළමත්ත, බස්නාගොඩ ආදී ප්‍රදේශ මෙම වැඩසටහනෙන් ආවරණය කෙරුනි.
පෙරපාසල් දරුවන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ව ළමා විය සංවර්ධන නිලධාරිනී තුෂාරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රායෝගික වැඩසටහනක් එදින රුවන්වැල්ල ප්‍රාදේශීය සභා අඟුරුවැල්ල පෙර පාසලේදී පැවැත්විනි.
2025-09-16 - පරිසර සහ රුක් රෝපන දිනය
පළාත් පාලන සතියට සමගාමීව 2025.09.16 වන දින රුවන්වැල්ල නගරාසන්නයේ මාර්ග දෙපස රෝපනය කල පැළ වටා ආරක්ෂක වැටවල් යෙදීම හා කොම්පෝස්ට් පොහොර එක් කිරීම අද දින සිදු කරන ලදි. මීට අමතරව, රුවන්වැල්ල මධ්‍යම පුස්තකාල ඖෂධ උයන සංරක්ෂණය කිරීමද රුවන්වැල්ල මධ්‍යම පුස්තකාල කාර්යමණ්ඩලය හා පුස්තකාල පාඨකයින් විසින් සිදු කරන ලදි. තවද, ඉඹුලාන, ගලපිටමඩ, අමිතිරිගිල, ගෝණගල්දෙණිය මහජන පුස්තකාලවලද විවිධ පරිසර සහ රුක් රෝපන වැඩසටහන් පවත්වන ලදි. රත්තාගල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් හා දෙමව්පියන් සමඟ එක්ව රුක් රෝපන වැඩසටහනක් ද එදින එම විද්‍යාල භූමියේදී සිදු කරන ලදි.
2025-09-17 - සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය
ළමා පෝෂණය පිළිබඳ පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීම.
පළාත් පාලන සතියට සමගාමීව රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ රුවන්වැල්ල පෙර පාසලෙහි දෙමව්පියන් සඳහා දරු දැරියන්ගේ පෝෂණය සම්බන්ධව දේශන වැඩසටහනක් 2025-09-17 දින පවත්වන ලදි.
රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි උපේඛා මහත්මිය විසින් දේශනය පවත්වන ලද අතර රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මැතිතුමන්, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව් මන්ත්‍රී සුදත් උඩුමල්වත්ත මහතා, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව් ලේකම් රසාංගික පතිරණ මහතා, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව් ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී සන්ධ්‍යා කුමාරි මිය ද වැඩසටහනට සහභාගී විය.
නගරයේ කානු පද්ධතිය පිරිසිදු කිරීම
රුවන්වැල්ල මාර්ග සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය සභාව එක්ව පළාත් පාලන සතියට සමගාමීව 2025-09- 17 වන දින රුවන්වැල්ල, කරවනැල්ල, කන්නත්තොට නගරවල කානු පද්ධති අපද්‍රව්‍ය හා අවහිර වූ ස්ථාන ඉවත් කර පිරිසිදු කරන ලදි.
2025-09-18 - ආදායම් ප්‍රවර්ධන දිනය
ආදායම් ප්‍රවර්ධන දිනයට සමගාමීව කරවනැල්ල, රුවන්වැල්ල,අඟුරුවැල්ල හා ඉඹුලාන නගරවල ආදායම් එකතු කිරීම සඳහා ජංගම සේවා වැඩසටහනක් පවත්වන ලදි. ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සම්බන්ධ උපදෙස් පත්‍රිකා ප්‍රදේශවාසීන්හට ලබා දීමද මෙහිදී සිදු කරන ලදි.
2025-09-19 - සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය
2025-09-19 සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය හේතුවෙන් ප්‍රාදේශීය සභාව සතු මහජන පුස්තකාලවලින් කියවීම් කඳවුරු, ජංගම පුස්තකාල සේවා වැනි විවිධ වැඩසටහන් සිදු කරන ලදි.
2025-09-20 - මහජන උපයෝගීතා සහ ක්‍රීඩා දිනය
රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාගේ අදහසක් සහ සංකල්පයක් පරිදි රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් රසාංගික පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් 2025-09-20 දින වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබිණ. අතීතයේ සිට පැවත වර්තමානයේ අප අතරින් ගිලිහී යන ජන ක්‍රීඩා සම්බන්ධයෙන් පාසල් දූ දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් රුවන්වැල්ල මධ්‍යම පුස්තකාලයේදී පැවැත්විණි.
ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාගේ මග පෙන්වීම යටතේ ලේකම්තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් සුසාන භූමි පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වනක් ද 2025-09-20 දින පවත්වන ලදී. ආරම්භක පියවර වශයෙන් කරව්දෙනිය සුසාන භූමිය පිරිසිදු කිරීම සිදුවිය. එම අවස්ථාවට රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාද, ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරීතුමියද, කාර්යමණ්ඩලයද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ද ගම්වාසීන්ද සහභාගි විය.
2025-09-21 - සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්ති උළෙල
පළාත් පාලන සතිය වෙනුවෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ආරාධිත පාසල් ප්‍රදර්ශන වොලිබෝල් තරඟාවලිය 2025.09.21 දින රුවන්වැල්ල ප්‍රාදේශීය සභා මහජන ක්‍රීඩාංගන වොලිවෝල් ක්‍රීඩාපිටියේදී ආරම්භ කෙරුනි. රුවන්වැල්ල ප්‍රාදේශීය සභා ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු උපසභාපති හේමජයන්ත ජයවර්ධන, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් උඩුමල්වත්ත, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් ඉන්දික දයාරත්න, ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි සිරිවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් තරඟාවලියේ සමාරම්භය සිදු කෙරුනි.
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, රුවන්වැල්ල රාජකීය විද්‍යාලය, ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලය, ගලපිටමඩ වලගම්බා මහා විද්‍යාලය යන පාසල්වල වොලිබෝල් කණ්ඩායම් මෙම තරඟාවලිය සඳහා සහභාගී විය. ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මැතිතුමාගේ අදහසක් හා සංකල්පයක් පරිදි ප්‍රාදේශිය සභාව් ලේකම් පී.ආර්. පතිරන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම තරඟාවලිය සූදානම් කෙරුනි.